අන්තර්තාරීය දුර මැනීම
වස්තු දෙකක් අතර දුර මනින්න විවිධ විවිධ මිනුම් භාවිතා කරනව. ඒ අතරින් මීටරය තමයි සම්මත ඒකකය හැටියට සැලකෙන්නෙ. ඊට අමතරව අඩි, අඟල්, දම්වැල් වගේ මිනුම් එකකත් භාවිතා වෙනව. මේ අපිට හුරු පුරුදු සියලුම දුර මැනීමේ ඒකක පාවිච්චි කරන්නෙ ඉතාම කුඩා දුරවල් මැනීමට විතරයි. තරමක් විශාල දුරවල් මනින්න කිලෝමීටර් භාවිතා කරන්න පුළුවන්. ඒත් තරු අතර දුරවල් මනින්න, ග්‍රහලෝක අතර දුරවල් මනින්න, චක්‍රාවාට අතර දුර මනින්න මේ මිනුම් ඒකක ගැළපෙන්නෙ නෑ. අපිට කිට්ටුම තරුව වෙන ප්රෝක්සිමා සෙන්චුරි වලට දුර ආසන්න වශයෙන් කිලෝමීටර් 40174990000000 ක් වෙනව. මේ වගේ විශාල සංඛ්‍යාත්මක අගයන් පාවිච්චි කරන එක අපහසු වැඩක්. ඒ නිසා තාරකා විද්‍යාවේ දුරවල් මනින්න විශේෂ ඒකක පාවිච්චි වෙනව. මේ ලිපියෙන් කියන්නෙ එහෙම පාවිච්චි වෙන දුර මැනීමේ ඒකක තුනක් ගැන.
නක්‍ෂත්‍ර ඒකක. (Astronomical unit)
ග්‍රහලෝක අතර දුරවල් මනින්න පාවිච්චි කරන ඒකකය තමයි නක්‍ෂත්‍ර ඒකකය කියන්නෙ. මේ ඒකකය හදාගෙන තියෙන්නෙ සුර්යයා සහ පෘථිවිය අතර සාමාන්‍ය දුර සැලකිල්ලට අරගන. පෘථිවිය සුර්යයා වටේ ඉලිප්සාකාර මාර්ගයක යන නිසා තමයි මේ සාමාන්‍ය අගය අරගන තියෙන්නේ. නමුත් 2012 දි නක්‍ෂත්‍ර ඒකකයක් සඳහා නිශ්චිත දුරක් සම්මත කරගන්නව. ඒ මීටර් 149597870700 ක දුර ප්‍රමාණයක්. සුර්යයාගේ සිට ඒ ඒ ග්‍රහලෝක වලට ඇති දුර නක්‍ෂත්‍ර ඒකක වලින්. බුධ = 0.39
සිකුරු = 0.72
පෘථිවිය = 1.00
අඟහරු = 1.52
බ්‍රහස්පති = 5.2
සෙනසුරු = 9.5
යුරේනස් = 19.2
නෙප්චූන් = 30.1
මේ වෙද්දී මිනිසා වැඩිම දුරක් යවපු යානාව වෙන වොයෙජර් 1 ට පුළුවන් වෙලා තියනව නක්‍ෂත්‍ර ඒකක 150ක් විතර දුරකට ගමන් කරන්න.
ආලෝක වර්ෂ (Light Year)
මේක තමයි සාමාන්‍යයෙන් ජනප්‍රියම අන්තර් තාරීය දුර මැනීමේ ඒකකය. ආලෝකය වසරක් තුල ගමන්කරන දුර ආලෝක වර්ෂයක් හැටියට සැලකෙනව. නිවැරදිවම කිව්වොත් ආලෝකයේ වේගයෙන් ජූලියන් වසරක් තුල ගමන් කරන දුර තමයි ආලෝක වර්ෂයක් හැටියට සලකන්නෙ. ආලෝකයේ සම්මත වේගය වෙන්නෙ තත්පරයකට මීටර් 299792458 ක දුරක්. ජූලියන් වසරක් හැටියට සලකන්නෙ දින 365.25 ක ප්‍රමාණයක්. එක් දිනයකට සම්මත තත්පර 86400ක් තියනව කියල සලකනව. එහෙම ගත්තහම ආලෝක වර්ෂයක් කියන්නෙ මීටර් 299792458 x 365.25 x 86400 ක විශාල දුරක්. මේ දුර කිලෝමීටර් ට්‍රිලියන 9.46කට සමානයි. (9460000000000Km) සාමාන්‍යයෙන් තරු අතර දුර මනින්න ඉතාම සුදුසු ඒකකයක් තමයි ආලෝක වර්ෂ කියන්නෙ.
පාසෙක් (Parsec)
ආලෝක වර්ෂ වලින් මනිනවටත් වඩා දිගු දුරවල් මනින්න පාවිච්චි කරන මිනුමක් තමයි පාසෙක් කියන්නෙ. මේ මිනුම ගන්න එක කලින් මිනුම් ගත්ත විදිහට වඩා ටිකක් සංකීර්ණ වැඩක්. ඒකට අසම්පාතය (Parallax) සහ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරන්න වෙනව.
අසම්පාතය - මේක අපි එදිනෙදා ජීවිතයේ අත්දකින සංසිද්ධියක්. අපිට තරමක් දුරිත් තියන වස්තුවක් දිහා ස්ථාන දෙකක ඉඳල බලද්දී ඒ වස්තුව පසුබිමින් වඩාත් ඈතින් තියන වස්තුවකට සාපේක්ෂව චලනය වෙනව වගේ පේනව. මෙන්න මේකට තමයි අසම්පාතය කියල කියන්නෙ.
දැන් පාසෙක් වලට මේ අසම්පාතය ගන්නෙ කොහොමද. අපි දන්නව අපි සුර්යයා වටේ ගමන් කරනව කියල. මේ ගමන නිසා අපිට පෙනෙන විශ්වයේ තරු සම්බන්ධවත් මේ අසම්පාතනය කියන සංසිද්ධිය ඇතිවෙනව. වඩා ලඟින් තියන තරු වල සාපේක්ෂ පිහිටීම ඒ තරුවට පසුබිමින් තියන තරු වලට සාපේක්ෂව වෙනස් වෙනව. ඉතින් යම් තරුවක අසම්පාත කෝණය විකලා එකක් (අංශකයකින් 3600කින් කොටසක්) හැටියට ගත්තොත්; අපේ පෘථිවියේ ඉඳල සුර්යයාට තියන දුර නක්‍ෂත්‍ර එකක එකක් හැටියට සැලකුවොත් අර උඩ කියපු තරුවට සුර්යයාගේ ඉඳල තියන දුර පාසෙක් එකක් හැටියට සැලකෙනව.
මේ දුර ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 3.26156ක් එහෙමත් නැත්තං මීටර් 30856775814913673ක් වෙනව. ඉතිං ආලෝක වර්ෂයි පාසෙක් අතරයි ලොකු වෙනසක් නැත්තං ඇයි මේ වෙනම මිනුමක් කියල හිතෙන්න පුළුවන්. හැබැයි පාසෙක් පාවිච්චි කරද්දී දහයේ තුනේ බල වලින් විශේෂ විදිහට ලියනව (මෙට්‍රික් ක්‍රමයට). එහෙම ගත්තොත් පාසෙක්, කිලෝපාසෙක්, මෙගාපාසෙක්, ගිගාපාසෙක් වගේ විශාල මිනුම් අගයන් ගන්න පුළුවන්. දැන් අපි හිතමු චක්‍රාවාට දෙකක් අතර දුර ආලෝක වර්ෂ වලින් කියද්දී ආලෝක වර්ෂ මිලියන ගණන් වලින් කියද්දී පාසෙක් වලින් මෙගාපාසෙක් වලින් කියන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපේ ක්ෂීරපථයේ පළල කිලෝපාසෙක් 56.72ක්. ආලෝක වර්ෂ වලින් ගත්තොත් ආලෝක වර්ෂ 185000ක්. (හැබැයි ආලෝක වර්ෂත් කිලෝ ආලෝකවර්ෂ, මෙගා ආලෝක වර්ෂ කියල ගන්නව. නමුත් උච්චාරණයේ පහසුව ආදිය නිසා පාසෙක් වඩා ජනප්‍රියයි.)
මීට අමතරව තව දුර මනින ඒකක කිහිපයක් තියනව Transverse comoving distance, Angular diameter distance, Luminosity distance ආදිය එයින් කිහිපයක්.
සියලු ජායාරුප wikimedia ඇසුරෙනි
Comments