රසල්ගේ තේ පෝච්චිය

Adeesha
Written by Adeesha on
රසල්ගේ තේ පෝච්චිය

දෙවියන් පිලිබඳ ප්‍රශ්නය මිනිස් ශිෂ්ටාචාරය තරම්ම පැරණි එකක් කියලයි මට හිතෙන්නෙ. ස්වභාවධර්මයේ විවිධ ප්‍රපංචයන්ට දේවත්වය ආරුඪ කරමින් ඇරඹි දේව සංකල්පය පසුකලෙක සංවිධානාත්මක ආගම් සහ දර්ශන නිසා වඩාත් දියුණු වෙනව. මෙයින් ලෝකයේ වඩාත් ප්‍රචලිතවූයේ ඒකදේවවාදය. මේකම ඊශ්වරනිර්මාණවාදය ලෙසත් හැඳින්වෙනව. ඒත් පසුකාලෙක අදේවවාදය ලෝකයේ ප්‍රචලිත උනා. මෙහෙම වෙන්න නිදහස් චින්තකයන් ගොඩක් ලොකු දායකත්වයක් දැක්වුව. අද වෙනකොට දෙවියන් නැතැයි කියන කණ්ඩායම් රාශියක් තියනව. අදේවවාදීන්, අඥේයවාදීන්, නිරාගමිකයන් සහ භෞතිකවාදීන් මේ අතරින් ප්‍රකටයි. දෙවියන් ඇතැයි සහ දෙවියන් නැතැයි කියන අය අතර ලොකු විවාදයක් තියනව. මේ විවාදයේදී දෙපැත්තෙන්ම කියවෙන පොදු දෙයක් තියනව. ඒ ඔප්පුකරන්න කියන දේ. දෙවියන් නැතැයි කියන අය දෙවියන් ඇතැයි කියන අයට කියනව “දෙවියන් ඉන්නවනම් ඉන්නව කියල ඔප්පු කරපං” කියල. එතකොට දෙවියන් ඇතැයි කියන අය නැතැයි කියන යට කියනව “දෙවියන් නැත්නම් නෑ කියල ඔප්පු කරපං” කියල. මේ තර්ක දෙකම එකිනෙකට විරුද්ධව කරට කර තිබුනෙ රසල් කියල කෙනෙක් එයාගෙ “තේ පෝච්චිය” ගැන කියනකල් විතරයි. රසල් (බට්‍රන්ඩ් රසල්) එයාගෙ තේ පොච්චියෙන් කිව්වේ මෙහෙම දෙයක්

“If I were to suggest that between the Earth and Mars there is a china teapot revolving about the sun in an elliptical orbit, nobody would be able to disprove my assertion provided I were careful to add that the teapot is too small to be revealed even by our most powerful telescopes.”

සරළ සිංහලෙන් කිව්වොත්,

“මම කිව්වොත් පෘතුවිය සහ අඟහරු අතර ඉලිප්සීය කක්ෂයක චීන තේ පෝච්චියක් භ්‍රමණය වෙමින් තියනව, ඒ තේ පෝච්චිය අපේ තියන ප්‍රභලම දුරේක්ෂයෙන් වත් නොපෙනෙන තරමට පොඩියි කියල කාටවත් මගේ ප්‍රකාශය අසත්‍ය කියල ඔප්පුකරන්න බෑ”

මෙතනදි රසල් පෙන්නුවෙ යම් කරුණක් ඔප්පුකලයුත්තේ යෝජකයා මිසක් ප්‍රතියෝජකයා නොවන බව. මෙන්න මෙ තර්කයෙන් පස්සෙ අර දෙවියන් ඇතැයි කියපු අය ගෙනාපු තර්කය වෙච්ච “දෙවියන් නැත්නම් නෑ කියල ඔප්පු කරපං” කියන එක අභියෝගයට ලක්වුණා. ඉතිං අද වෙනකොටත් දෙවියන් නැතැයි කියන අය තමන්ගෙ ප්‍රධානම තර්කයක් හැටියට මේ තේ පෝච්චිය පාවිච්චියට ගන්නව. හරියටම කිව්වොත් පරිගණක ග්‍රැෆික් වල උටා තේ පෝච්චිය වගේ තමයි අදේවවාදීන්ට රසල්ගේ තේ පෝච්චිය.

දැන් මම හදන්නෙ රසල්ගේ තේ පෝච්චිය දිහා වෙන විදිහකට බලන්න. මම මෙතනදී රසල් යෝජකයා හැටියටත් තේ පෝච්චිය ඇතැයි ඔප්පුකරනලෙස කියන කෙනා ප්‍රතියෝජකයා හැටියටත් නම්කරන්නං.

දැන් අපි බලමු යෝජකයා කියන්නේ මොකක් ගැනද කියල.

ඔහු කියන්නේ තේ පෝච්චියක් ගැන. ඔහු එය විශේෂණය කරනව කුඩා, චීන තේ පෝච්චියක් කියල. මේ තේ පෝච්චිය කුඩා නමුත් අතට හසුවන, ඇසට පෙණෙන, මිනිසා විසින් නිර්මාණය කරනලද තේ පෝච්චියක්. මෙතන තියන වැදගත්ම කාරණය තමයි යෝජකයා සහ ප්‍රතියෝජකයා කියන දෙන්නටම මේ තේ පෝච්චිය ගෝචරයි. මෙතනදී ප්‍රතියෝජකයා විසින් මතුකරන්නේ තේ පෝච්චිය ගැන ප්‍රශ්නයක් නෙවෙයි එහි පිහිටීම ගැන ප්‍රශ්නයක්.

දැන් අපි බලමු යෝජකයාට තේ පෝච්චිය ඇතිබව පෙන්වීමට උපයෝගී කරගන්න පුළුවන් ක්‍රමවේදයන් මොනවද කියල.

  • රසල් කිව්වත් ඒ තේ පෝච්චිය ප්‍රභලම දුරේක්ෂයට නොපෙනෙන තරම් කුඩායි කියල, අනාගතයේ බිහිවෙන අතිප්‍රභල දුරේක්ෂයකින් එය සොයාගන්න පුළුවන්.

  • ෘතුවිය සහ අඟහරු අතර ප්‍රදේශයම පරීක්ෂා කරල බලන්න දියුණු අභ්‍යවකාශ යානා යොදාගන්න පුළුවන් (ප්‍රයෝගික නොවුනත්)

මේ සොයාගැනීම වලට ආලෝකය, අධෝරක්ත කිරණ, රේඩියෝ තරංග, ගුරුත්වයේ වෙනස්කම් වැනි එකී, මෙකී, නොකී ඕනෑම ක්‍රමවේදයක් පාවිච්චිකරන්න පුළුවන්. මේ පාවිච්චි කරන හැම ක්‍රමවේදයක්ම ප්‍රතියෝජකයාට එකඟවෙන්න පුළුවන් ක්‍රමවේදයන්. කොහොම හරි යෝජකයා ඉහත ක්‍රම වලින් එකක් හෝ කීපයක් පාවිච්චි කරල තේ පෝච්චිය තියනව කියල පෙන්නුවොත් ප්‍රතියෝජකයාට ඒ බව පිළිගන්න අපහසු වෙන්නෙ නෑ. මොකද ඒ ක්‍රමවේදයන් ඔහුත් පිළිගන්න නිසා. එහෙමත් නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. තේ පෝච්චිය ප්‍රතියෝජකයාටත් ගෝචර නිසා ඒක හඳුනාගන්න සාධාරණ ක්‍රමවේදයක් ප්‍රතියෝජකයාට යෝජනා කරන්න පුළුවන්.

දැන් අපි එමු දෙවියන් පැත්තට.

දැන් කවුරුහරි කියනව දෙවියන් ඉන්නව කියල. එතකොට වෙන කෙනෙක් කියනව දෙවියන් ඉන්නවානම් ඉන්නව කියල ඔප්පු කරන්න කියල. දැන් ප්‍රශ්නය බැලූ බැල්මට රසල්ගේ තේ පෝච්චිය වගේ. හැබයි මෙතනදි තේ පෝච්චියේ ප්‍රශ්නෙට වඩා අමතර ප්‍රශ්න ටිකක් එනව.

  • කවුද මේ දෙයියො?
  • දෙයියො මොනවගේද?
  • දෙයියො මොනවයින්ද හැදිල තියෙන්නෙ?

වගේ දහසකුත් එකක් ප්‍රශ්න.

ඊට අමතරව,

  • මේ ප්‍රශ්න වලට පිළිතුරු යෝජකයා සහ ප්‍රතියෝජකයා කියන දෙන්නම පිළිගන්නවද?
  • දෙවියන් යෝජකයා සහ ප්‍රතියෝජකයා කියන දෙන්නටම ගෝචරද?
  • දෙවියන් ඇතැයි ඔප්පුකිරීමට යොදාගන්නා ක්‍රමවේදය හෝ ක්‍රමවේදයන් මොනවාද?
  • එම ක්‍රමවේදයන් ප්‍රතියෝජකයා විසින් පිළිගන්නා ඒවාද?

කියන අතුරු ප්‍රශ්නත් එනව.

දැන් ප්‍රශ්නය රසල්ගේ තේ පෝච්චියට වඩා ටිකක් බරපතලයි.

දැන් අපි හිතමු දෙවියන් ඉන්නව කියල කියන කෙනා කියනව දෙවියන් භෞතික නෙවෙයි කියල. දැන් දෙවියන් නෑ කියල කියන කෙනා කොහොමද භෞතික නොවෙන දෙවියන් ඉන්නව කියල තමන්ට පිළිගන්න පුළුවන් ක්‍රමයක් යෝජනා කරන්නෙ? මොකද යෝජකයා කියන ක්‍රමයක් නෙවෙයි ප්‍රතියෝජකයා පිළිගන්න ක්‍රමයකට තමයි දෙවියන් ඉන්න බව පෙන්නන්න ඕනි. එහෙමනං භෞතික නොවෙන දෙවියන් detect කරගන්න ක්‍රමවේදය යෝජනාකරන්න ඕනි ප්‍රතියෝජකයා. ප්‍රතියෝජකයා එසේ ක්‍රමවේදයක් යෝජනා නොකරන තාක් ඔහුගේ “දෙවියන් ඉන්නවානම් ඔප්පුකරපන්” කියන තර්කයත් අවලංගු තර්කයක්.

ප.ලි - මගේ උත්සාහය දෙවියන් ඇත කියල කියන එක නෙවෙයි. දෙවියන් ඇත වගේම දෙවියන් නැත කියල කියන එකත් තම තමන්ගෙ පුද්ගලික මතයක් කියන එකත් එක් මතයක් අනෙක් මතයට වඩා උත්තරීතර වෙන්නෙ නෑ කියන එකත් පෙන්නන්න.

Adeesha

Adeesha

Comments

comments powered by Disqus