සප්ත සුරියෝද්ගමනය
සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, සත්තකනිපාතපාළියේ මහා වග්ගයේ ඇති සප්තසුරිය සූත්‍රයේ හිරු හතක් පෑයීමෙන් අනතුරුව පෘතුවිය මුළුමනින්ම විනාශ වන බව සඳහන් වෙනව. එහෙම දක්වල තියෙන්නෙ සියලු සංස්කාරයන් අනිත්‍ය බව උදාහරණ සහිතව පෙන්වා දෙන්න. හැබැයි ගොඩක් අය බුදුදහමේ විද්‍යාවක් සොයන්නට පෙළඹීලා ඉන්න හින්ද සප්ත සුරියෝද්ගමන සුත්‍රයේ පරිදි හිරු සතක් පායන්නේ කොහොමද කියන එක ගැන අහනව. මේ ගැන කියවෙන ජනප්‍රියම කතාවක් වෙන්නේ හිරු මියයාමට ආසන්න වෙද්දි ඒක ක්‍රමයෙන් විශාල වෙන නිසා එහෙම විශාල වන හිරු දක්වන්න සුර්යයන් හතක් පායනවා කියල දේශනා කල බව. ඒත් එහෙම හිරු විශාල වන බව කියන්න ඕනිනං ඒ සඳහා සුර්යයන් හතක් ගන්නෙ නැතුව හිරු මඬලේ ප්‍රමාණය අරගෙන ඒක පෙන්වා දෙන්න පුළුවන් කියන එක ඔවුන් අමතක කරනව.
සප්ත සුරියෝද්ගමන සුත්‍රය ගැන මගේ අදහස පැහැදිලි කරන්නම්.
ලෝකයේ චින්තන විධි දෙකක් තියනව. එකක් රේඛීය චින්තනය අනික චක්‍රීය චින්තනය. ප්‍රායෝගික ජීවිතයේදී මේ චින්තන ක්‍රම දෙක අඩු වැඩි වශයෙන් පාවිච්චි කරනව. උදාහරණ හැටියට ගත්තොත් රූපවාහිනිය ගත්තොත් ඒක රේඛීයයි. මුලින්ම රුපවාහිනියක් හදපු දවසක් තියනව. ඒවගේම එදා ඉඳල රූපවාහිනිය පරිණාමය වෙලා තියනව. ජල චක්‍රය ගත්තොත් ඒක චක්‍රීයයි. සාමාන්‍ය ජීවිතේදී අපිට මේ චින්තන ක්‍රම දෙක ගැන එච්චර ගැටළු මතුවෙන්නෙ නෑ. හැබැයි ඔය චින්තන ක්‍රම දෙක දරුණුවට ගැටෙන තැන් තියනව. එහෙම ගැටෙන තැන් තමයි විශ්වය ගැන, ජීවිතය ගැන ඔය චින්තන වලින් විග්‍රහ කරන තැන්.
විශ්වය ගැන රේඛීයව හිතුවොත් විශ්වයට ආරම්භයක් තියෙන්න ඕනි. හැබැයි එතකොට එන ප්‍රශ්නේ තමයි විශ්වයේ ආරම්භයට කලින් තිබ්බෙ මොකක්ද කියන එක. ඒ වගේම විශ්වය ගැන චක්‍රීයව හිතුවොත් ආරම්භය ගැන ප්‍රශ්නයක් එනව. ඉතිං ඔය විවාදය දිගටම තියනව. සියලුම ඒක දේවවාදී ආගම් වගේම බටහිර විද්‍යාවත් දර්ශනයත් රේඛීය චින්තනය මත තමයි පවතින්නෙ. ඒ වගේම පෙරදිග ආගම්/දර්ශන වල චක්‍රීය චින්තනය තමයි පදනම වෙලා තියෙන්නෙ.
දැන් අපි විශ්වය පැත්තට එමු. බටහිර විද්‍යාවට අනුව විශ්වය ආරම්භවෙලා තියෙන්නෙ මහා පිපුරුමින්. එහෙම පටන්ගත්ත විශ්වය එතන ඉඳල දිගින් දිගටම ප්‍රසාරණය වෙමින් තියනව. හැබැයි දැන් මෙහෙම පටන්ගත්ත විශ්වයේ ඊට කලින් තිබ්බෙ මොනවද කියල ඇහුවොත් පැහැදිලි පිළිතුරක් දෙන්න බෑ. ඒ නිසා ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්නය ගැන උත්තරදීම මග හරිනව. එහෙමත් නැත්නම් තාර්කිකව යම් පිළිතුරක් දෙනව. නමුත් දැනට බටහිර විද්‍යාවට අනුව ඔප්පුවෙලා තියෙන්නෙ මහා පිපුරුම්වාදය තමයි.
දැන් අපි බුදුදහම පැත්තට හැරෙමු. බුදුදහමේ විශ්වය ගැන කථා නොකරන තරම්. මොකද බුදුදහම අවධානය යොමුකරන්නෙ පුද්ගලයාගේ විමුක්තිය ගැන. හැබයි සමහර තැන් වල විශ්වය ගැන වක්‍රව කථා කරල තියනව. එහෙම කතාකරන එක සුත්‍රයක් තමයි සප්ත සුරියෝද්ගමන සුත්‍රය. නමුත් කිසිම තැනක විශ්වයේ ආරම්භය ගැන දේශනා කරල නෑ. ගොඩක් වෙලාවට බුදුහාමුදුරුවො දේශනා කරේ ලෝක විෂය අචින්ත්‍යයි කියල. එක්තරා අවස්ථාවක සංසාරය ගැන කියද්දි බුදුන්වහන්සේ “පුබ්බාකෝටි නපඤ්ඤායති” කියල. මෙතනදි කියන්නේ සංසාරයේ මුල් කෙළවරක් පනවන්න බෑ කියන එක. සංසාරය කියන්නේ සත්වයා ඉපදෙමින් මැරෙමින් ගමන්කිරීමට. ඉතිං සත්වයා පහළවෙන විශ්වයටත් ඒ කියන්නෙ පුර්ව කෙළවරක් පනවන්න බෑ. එතකොට බුදුදහම අනුව විශ්වය පවතින්නෙ කොහොමද. බුදුදහමට අනුව විශ්වයට තියෙනව හැකිලෙන සහ පිම්බෙන ස්වභාවයක්. එක මහා කල්පයක් ඇතුලත විශ්වය පිම්බිලා නැවත හැකිලෙනව. මේ හැකිලීමටයි පිම්බීමටයි අනුව මහා කල්පයක් කොටස් හතරකට බෙදෙනව. ඒ විවට්ට කල්පය, විවට්ටස්ථායී කල්පය, සංවට්ට කල්පය, සංවට්ටස්ථායී කල්පය කියල. මේක චක්‍රීයව සිද්ධ වෙනව. හැබැයි මෙහෙම චක්‍ර කිඉයක් උනාද, තව කොච්චරක් වෙයිද, පළවෙනි චක්‍රය පටන්ගත්තෙ කවදාද කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ ක්‍රමය තුල බෑ. එහෙම පුර්ව කෙළවරක් දැක්වුවොත් ඒක රේඛීය වෙනව. රේඛීය උනොත් ආයෙත් ආරම්භයට පෙර මොනවද තිබ්බෙ කියන ප්‍රශ්නය එනව. ඒ නිසා තමයි පුර්ව කෙළවරක් පනවන්න බෑ කියල දේශනා කරේ.
දැන් මීට සමාන අදහසක් හින්දු දහම තුලත් තියෙනව. මේ නිසාම බොහෝ දෙනෙක් බුදුදහමේ මේ අදහස හින්දු දහමින් ගත්ත එකක් හැටියට සලකන්නත් ඉඩ තියනව. නමුත් හින්දූන් මෙය දෙවියන්ගේ (හෝ බ්‍රහ්මයාගේ) ක්‍රියාවක් හැටියට දක්වනව. නමුත් බුදුදහම තුල මෙම ක්‍රියාවලිය හේතු ඵල සම්බන්ධතාව නිසා සිද්ධවෙන බව දක්වල තියෙනව. දැන් කොහොමද මේ සමාන අදහස් බුදුදහමටත් හින්දු දහමටත් එන්නේ. හින්දු දහම බුදුදහමට වඩා ගොඩක් පරණයි. ඒ වගේම හින්දු දහම කියන්නෙ විවිධ පුද්ගලයන් ඇති දීර්ඝ කාලයක් තිස්සේ පෝෂණය වෙච්ච, විවිධ මතවාද එකතු වෙච්ච දැනුම් පද්ධතියක්. වේද, උපනිෂද්, වේදාන්ත ආදියෙන් සමන්විත දැවැන්ත සාහිත්‍යයක් හින්දු දර්ශනය සතුයි. මේ හින්දු දර්ශනයේ සමහර මතවාද බිහිවෙන්නෙ සෘෂිවරුන් අතින්. ඒ කියන්නෙ භාවනාව හරහා සිත දියුණු කරගත් ධ්‍යාන ලාභීන් අතින්. මේ අය අතරින් සමහරුන්ට පුළුවන් අතීතයේ හිටපු භවයන් සිහි කරන්න. එහෙම සිහිකරද්දී එයාල දැකපු දේවල් තමයි එයාලට තේරෙන හැටියට අර්ථ දැක්වුව. පෙර භවයක බ්‍රහ්ම ලෝකෙ වගේ උපත ලබපු කෙනෙක් හිටියොත් එයා ඒ බ්‍රහ්මයෙක් හැටියට ඉන්නකොට විශ්වයේ හැකිලීම් පිම්බීම් කිහිපයක්ම දකින්න ඉඩ තියනව. හැබැයි ඒ සෘෂිවරු ඒ සිද්ධි අර්ථ දැක්වුවෙ දෙවියන් හෝ බ්‍රහ්මන් විසින් කරන දෙයක් හැටියට. ඒ නිසා බුදුදහමේත් හින්දු හෝ ජෛන දහමේත් සමහර කරුණු මතුපිටින් සමානව පේන්න පුළුවන්.
දැන් බලමු කොහොමද මේ පිම්බෙන හැකිලෙන විශ්වයේ ඉරවල් හතක් පායන්නෙ කියල. බුදුදහමට අනුව විශ්වයේ ජීවය පවතින්න සුදුසු කාලය තමයි විවට්ටස්ථායී කල්පය. ඒ කියන්නේ අපි දැන් ජීවත් වෙන්නෙ විවට්ටස්ථායී කල්පයේ. ඊළඟට එන්නෙ සංවට්ට කල්පය. ඒ කියන්නේ විශ්වය හැකිලෙන්න පටන්ගන්න කාලය. මෙහෙම හැකිලෙද්දී අපිට ලඟින්ම තියන තරුව අපි ට ඉක්මනින් ලංවෙනව. ඒ කියන්නෙ සුර්යයා හැරෙන්න තවත් තරුවක් අපිට ලං වෙනව. මේ විදිහට තව තවත් විශ්වය සංකෝචනය වෙද්දි ඈතින් තියන තරු ක්‍රම ක්‍රමයෙන් අපිට ලංවෙනව. මෙහෙම හතක් විතර ලංවෙනකොට පෘතුවියම සම්පුර්ණයෙන් විනාශ වෙනව. මේකට බොහොම ලොකු කාලයක් ගතවෙනව.
සප්ත සුරියෝද්ගමන සුත්‍රයේදී බුදුන්වහන්සේ පෙන්වාදෙන්න උත්සාහ කරන්නෙ බොහොම ස්ථිර හැටියට පෙණෙන පෘතුවිය උනත් ස්ථීර නෑ, විනාශ වෙනව කියන එක. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන එක. මේ කරුණ හිතට අරගෙන නොපමාව කුසල් වඩන්න කියන එක.
Comments