කටුසු පාට
කටුස්ස, බොහොඬා එහෙමත් නැත්තං බෝදිලියා මේ ඔක්කොම පාට මාරුකරන සත්තු. තව ඉතින් පාට මාරුකරන මිනිස්සුත් ඉන්නව. සමහරු පාට මාරු කරන්නෙ කටුස්සන්ටත් වඩා වේගයෙන්. පුද්ගලික වාසි උදෙසා තමන්ගේ ප්‍රතිපත්ති නිතරම මාරු කරන මිනිස්සුන්ට කටුස්සෝ වගේ කියලත් කියනව. හැබැයි ඇත්ත කටුස්සො නං පාට මාරු කරන්නෙ ප්‍රතිපත්තියක් හැටියට. හැබැයි හැම කටුස්සටම පාට මාරුකරන්න නං බෑ.
අපි ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි කටුස්සො පාට මාරු කරන්නෙ පරිසරයේ වර්ණ එක්ක මිශ්‍ර වෙලා සැඟවෙන්න කියල. හැබැයි මේක සම්පුර්ණ සත්‍යයක් නෙවෙයි. සාමාන්‍ය අවස්ථා වලදී පරිසරයේ සැඟවෙන්න ලේසි විදිහට හමේ වර්ණය තිබ්බත්, කටුස්සන් පාට මාරු කරන්නෙ සන්නිවේදනය සඳහා. විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරන්න, සමාන ලිංගිකයන් පලවාහරින්න වගේම තමන්ගේ වැයික්කිය ආරක්ෂා කරගන්නත් කටුස්සන් පාට මාරු කරගන්නව. ඉතින් කොහොමද මේ සත්තු පාට මාරු කරන්නෙ? ඊට කලින් කතාකරන්න අවශ්‍ය පොඩි දේවල් ටිකක් තියනව
මොනවද පාට කියන්නෙ? - සරළව කිවුවොත් පාට කියල කියන්නෙ දෘශ්‍ය ආලෝකයේ නිශ්චිත සංඛ්‍යාතයක් හෝ සංඛ්‍යාත පරාසයක් ඇස විසින් හඳුනාගන්න අකාරය. මිනිස් ඇස විසින් වර්ණ හඳුනාගන්නෙ කේතු සෛල කියන විශේෂිත සෛල වර්ගයකින්. මේ සෛල වර්ග තුනක් තියනව.
s කේතු සෛල - දෘශ්‍ය ආලෝකයේ කෙටි තරංග ආයාමයන් වලට සංවේදී සෛල. 420–440 nm පරාසයේ ආලෝකයට තමයි වැඩිපුරම සංවේදී වෙන්නෙ. මේ වර්ණය තමයි අපි නිල් පාට කියල අඳුනගන්නෙ.
m කේතු සෛල - මධ්‍යම ප්‍රමාණයේ තරංග ආයාමයන් වලට සංවේදී සෛල. 534–545 nm පරාසයේ ආලෝකයට වඩා සංවේදී. මේ ආලෝකය අපි කොළ පාට කියල අඳුනගන්නව.
l කේතු සෛල - දිගු තරංග ආයාමයන් වලට සංවේදී සෛල. 564–580 nm පරාසයේ ආලෝකයට ගොඩක් සංවේදී. මේ ආලෝකය අපි රතු කියල අඳුනගන්නව. මේ සෛල වැඩිපුරම සංවේදී වෙන්නෙ කහ වර්ණයට උනත් මේ සෛල වලින් රතු පාටත් අඳුනගන්නව.
ඉතින් මේ සෛල වලින් එන විද්‍යුත් ආවේග ගානට කලවං කරලා තමයි මොළය විසින් වර්ණ අඳුනගන්නෙ.
Normalized responsivity spectra of human cone cells, S, M, and L types
මේ පාට එහෙමත් නැත්තං තරංග ආයාම කොහොමද අපේ ඇහැට එන්නෙ. අපේ පරිසරයේ තියන වස්තු එක්කො මේ තරංග ආයාම පරාවර්තනය කරනව, එහෙමත් නැත්තං විමෝචනය කරනව. සාමාන්‍ය පරිසරයේ මෙහෙම ආලෝකය විමෝචනය කරන දේවල් නං හරි අඩුවෙන් තමයි හම්බවෙන්නෙ. ඔය රෑබදුල්ලන්, කණාමැදිරියන් එහෙම කරන්නෙ ආලෝකය විමෝචනය කරන එක. අපිට ගහක පත්‍ර කොළ පාටින් පේන්නෙ ඒ පත්‍ර වල තියන වර්ණක වලින් දෘශ්‍ය ආලෝකයේ නිල් සහ රතු පාටට වගකියන තරංග ආයාමයන් අවශෝෂණය කරගන කොළ පාටට වගකියන තරංග ආයාමයන් වැඩි වශයෙන් පරාවර්තනය කරන නිසා.
අපි ටීවී එකක එහෙම පාට දකින්නෙ ටීවී එකේ තියන විශේෂ තාක්ෂණික ක්‍රමයක් නිසා. එතැනදී වෙන්නෙ කුඩා ආලෝක විමෝචක (CRT, LED, OLED වලදී ආලෝකය විමෝචනයත්, අනිත් පැනල් වලදී බැක්ලයිට් එක පරාවර්තනයත් මගින්) මගින් රතු, කොළ සහ නිල් ආලෝකයන් නිකුත් කිරීම. මේ වර්ණයන් ගේ තීව්‍රතාව වෙනස් කරල අපට අවශ්‍ය වර්ණ හදන්න පුළුවන්. ෆෝන් එකක ඩිස්ප්ලේ එක අත්කාචයකින් පරීක්ෂා කරොත් ඒ සැකැස්ම හොඳට පේනව.
දැන් හැරෙමු කටුස්ස පැත්තට
අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ කටුස්ස පාට මාරු කරන්නෙ අපේ ටීවී වල පාට පෙන්නන ක්‍රමයටම තමයි කියල. ඒ කියන්නෙ මෙහෙමයි.
කටුස්සාගේ හමේ සෛල සතර කිහිපයක් තියනව. මේ සතර වල විශේෂිත සෛල වර්ගයක් තියනව වර්ණධර (chromatophores) සෛල කියල. මේ සෛල වල තියනව විශේෂිත වර්ණ. සාමාන්‍ය වෙලාවට මේ වර්ණ එක තැනකට එකතුවෙලා තියෙන්නෙ. දැන් කටුස්සට පාට මාරුකරන්න ඕනි උනහම අර සෛල උත්තේජනය කරනව. එතකොට සෛල වල එක තැනකට ගොණුවෙලා තියන පාට සෛලය පුරාම විසිරිලා ගිහිල්ල සෛලයට පාට ලැබෙනව. සතර කිහිපකය තියන සෛල වලට මෙහෙම කරලා කටුස්ස අවශ්‍ය පාට හදනව. හරිම සරලයි නේද.
සෑහෙන කාලයක් අපි ඔහොම තමයි කටුස්ස ගැන හිතාගෙන හිටියෙ. ඒත් 2015 දි පරියේෂකයෝ ටිකක් හොයාගන්නව කටුස්ස පාට මාරු කරන්නෙ ඒ විදිහට නෙවෙයි වෙනස්ම විදිහකට කියල. හැබැයි මේ විදිහ හරිම ඇඩ්වාන්ස්.
කටුස්සගේ හමේ සෛල සතර කිහිපයක් තියනව. ඒ අතරින් එක ස්තරයක තියන සෛල වලට පුළුවන් උඩ කියල තියන විදිහට කහපාට හදාගන්නව. හැබැයි නියම වැඩේ වෙන්නෙ ඊට යටින් තියන සෛල ස්ථරයෙන්. මේ සෛල වල තියනව ඉතාම කුඩා ස්ඵටික වලින් හැදිච්ච දැලිසක් (Nano crystal lattice). කටුස්සට පුළුවන් මේ දැලිසේ ස්ඵටික අතර දුර වෙනස් කරන්න. ඒ කියන්නෙ දැලිසේ ව්‍යුහය වෙනස් කරන්න. මෙන්න මෙහෙම දැලිස වෙන කරද්දී ඒ සෛල වලින් පරාවර්තනය කරන ආලෝකයේ තරංග ආයාමයත් වෙනස් වෙනව. කටුස්ස නිවීසැනසිල්ලේ ඉන්නකොට මේ දැලිසේ ස්ඵටික අතර දුර අඩුයි. එතකොට දැලිසෙන් පරාවර්තනය කරන්නෙ නිල් ආලෝකය. මේ නිල් ආලෝකයයි උඩ සෛල ස්ථරයේ තියන කහ පාටයි එකතුවෙලා කටුස්ස කොළ පාටින් පේනව. (විවිධ පරිසර වල ඉන්න කටුස්සන්ගේ සාමාන්‍ය පාට එකිනෙකට වෙනස්. ඒ පාට වලට අනුරූපව තමයි ඔවුන්ගේ මේ ව්‍යුහයන් හැදිල තියෙන්නෙ) දැන් කටුස්ස මොකක් හරි හේතුවකට කලබල උනොත් (ඔවු ඔවු කටුසු කෑල්ලක් දැකල හරි වෙන පිරිමි කටුස්සෙක් දැකල හරි) ඌ අර දැලිසේ ව්‍යුහය වෙනස් කරනව. දැලිසේ ස්ඵටික අතර දුර වැඩි වෙද්දී දැලිස පරාවර්තනය කරන ආලෝකයේ තරංග ආයාමයත් වැඩි වෙනව. එතකොට ඔන්න කටුස්ස තැඹිලි පාට, රතු පාට එහෙම පෙන්නන්න පටන් ගන්නව.
skin colour change in chameleons
මේ සතර දෙකටම යටින් තව සෛල ස්තරයක් තියනව. මේ ස්ථරයේ තියන දැලිසේ ස්ඵටික අතර ඉඩ උඩ ස්තරයට වඩා වැඩියි. මේ ස්ථරයෙන් දෘශ්‍ය ආලෝකයට වඩා අධෝරක්ත පරාසයේ තරංග තමයි වැඩිපුර පරාවර්තනය කරන්නෙ. මේ දැලිසේ ව්‍යුහය වෙනස් කරල අධෝරක්ත පරාසයේ තරංග පරාවර්තනය කරනවද නැත්තං අවශෝෂණය කරනවද කියන එක තීරණය කරන්න පුළුවන්. ඉතින් කටුස්සො කියන්නෙ චලතාපී සත්තු ජාතියක්. ඔවුන්ට බෑ අපිට වගේ ශරීර උෂ්ණත්වය යාමනය කරගන්න. මෙන්න මේ ස්ථරයෙන් පුළුවන් ශරීරයට බාහිරින් ලැබෙන තාපය පාලනය කරල යම් අකාරයකින් ශරීර උෂ්ණත්වය පාලනය කරගන්න.
කොහොමද කටුස්සගෙ පාට වෙනස් කිරීම. දැන් ඉතිං හිතු මනාපෙට ප්‍රතිපත්ති වෙනස් කරන මිනිස්සුන්ට කටුස්ස කියල කටුස්සන්ට අපහාස කරන්න එපා. කටුස්ස එයාලට වඩා පාට මාරු කිරීම අතින් ඇඩ්වාන්ස්. ඉස්සරහට අපිට දැකගන්න පුළුවන් වෙයි මේ කටුසු ක්‍රමයට පාට හදන ටීවී තිර එහෙම. අඩු විදුලියකින් ඉතාම නිවැරදිව වර්ණ පෙන්නන්න මේ ක්‍රමයට පුළුවන්. විශේෂයෙන් දැන් තියන e-ink තාක්ෂනය වගේ යම් රූපයක් මේ ක්‍රමයට තිරය මත හැදුවට පස්සේ ඒ රූපය පවත්වාගෙන යන්න ශක්තිය යෙදවීමට අවශ්‍ය නැති තිර හදන්න පුළුවන් වෙයි මේ ක්‍රමය ඇසුරින්.
මේ සොයාගැනීම ගැන සරළ විග්‍රහයක් කරනව Veritasium කියන යුටියුබ් චැනල් එකේ. ඒකෙ ලින්ක් එකත් පහතින් දාන්නං. ඊට අමතරව ආශ්‍රිත වෙනත් කියවීම් සහ ලිපි වල ලින්ක් ටිකකුත් දාන්නං.
Reference
Evolution and selection of trichromatic vision in primates
Evolution and selection of trichromatic vision in primates
Photonic crystals cause active colour change in chameleons
Chameleon-Inspired Structural-Color Actuators
How Do Chameleons Change Color? - Veritasium
Image Credits
Normalized responsivity spectra of human cone cells, S, M, and L types
Comments