වවුල් පොල

Adeesha
Written by Adeesha on
වවුල් පොල

වවුල්ලු වාසය කරන තැන් වලට අපේ මිනිස්සු කිවුවෙ වවුල් පොල කියල. වවුල් පොල කියන්නෙ හරිම අපිරිසිදු, ගඳ ගහන තැනක්. වවුල කිව්වහමත් අපිට එන්නෙ බොහොම අප්‍රසන්න හැඟීමක්. ඒත් අපි හුරතල් කරන සත්තුන්ට වඩා වවුලන් අපිට මහා සේවාවන් ගොඩක් කරනව.

පලිබෝධ පාලනය - වවුලන් විශාල වශයෙන් කෘමීන් අහාරයට ගන්නව. මදුරුවන්ගේ සිට විශාල කුරුමිණියන් දක්වා කෘමි විශේෂ ගණනාවක් ඔවුන්ගේ ලැයිස්තුවට ඇතුලත්. සාමාන්‍යයෙන් එක් වවුලෙක්ට පැයක් ඇතුලත මදුරුවන් දහසක් පමණ අහාරයට ගන්න පුළුවන්. ඒ වගේම නිශාචරව හැසිරෙන සලබයන් ආදිය ඉතා හොඳින් පාලනය කරන්න වවුලන්ට පුළුවන්. අපි පහුගිය කාලෙ බොහොම බය වෙච්ච සේනා දළඹුවා කියන්නෙත් සලබ විශේෂයක්. ඒ වගේම දැන් පැතිරෙන පළඟැටි උවදුර පාලනයට උනත් ගැළපෙනම සතෙක් තමයි වවුලා. ගණන්බැලීම අනුව, ඇමරිකාවේ පමණක් වවුලන් නිසා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිදුවන ඉතිරිය ඩොලර් බිලියන 23ක්. මේ හැමදේම කරන්නෙ නොමිළේ. වවුලන් 150ක පමණ පිරිසකට ග්‍රීෂ්ම සෘතුවේ පමණක් පිපිඤ්ඤා පලිබෝධකයන් අහාරයට ගැනීම මගින් පලිබෝධකයන්ගේ බිත්තර මිලියන 33ක් දාන එක වලක්වන්න පුළුවන්.

කුඩා වවුලන් (කොස්ඇට වවුලන් යයි හඳුන්වන) පස්දෙනෙක්ට අක්කරයක වී වගාවක පලිබෝධ පාලනය සම්පුර්ණයෙන්ම කරන්න පුළුවන්. ඒ කියන්නෙ පලිබෝධනාශක යෙදීම සම්පුර්ණයෙන් නතරකරන්න පුළුවන්. ඉන්දුනීසියාවේ කොකෝවා වගාකරුවන් විසින් වවුලන් මගින් පලිබෝධ පාලනය කිරීම නිසා වසරකට ඩොලර් මිලියන 780ක් ඉතිරිකරගන්නව.

පොහොර - වවුල් වසුරු කියන්නෙ ඉතාම හොඳ පොහොරක්. ඒ වගේම ඉතා මිල අධික පොහොර විශේෂයක්. නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් වලින් සරු වවුල් වසුරු පසේ ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය ඉහල දමමින් පස සරු කරන්නත් දායක වෙනව.

බීජ ව්‍යාප්තිය සහ පරාගණය - සතුන් මගින් සිද්ධවෙන බීජ ප්‍රචාලනයේ වැදගත්ම කොටස්කරුවෙක් තමයි වවුල. විශේෂයන් පලතුරු වර්ගවල බීජ ප්‍රචාලනය හොඳින් සිදුකරන්න වවුලන්ට පුළුවන්. වනාන්තර ගහනය හොඳින් පවත්වාගන්න වවුලන්ගෙන් ලැබෙන දායකත්වය ඉමහත්. ඒ වගේම තමයි පරාගණය. ඔවු, මල්පැණි බොන වවුලන් ඉන්නව. විශේෂයෙන් රාත්‍රී කාලයට පිපෙන මල්වර්ග පරාගනයට වවුලන් සෑහෙන දායකත්වයක් දක්වනව. සාමාන්‍යයෙන් ගණන්බලා ඇති ආකාරයට නිවර්තන පළතුරු වලින් 70%ක් පමණ සෘජුව හෝ වක්‍රව වවුලන් මත රඳාපවතිනව. ඒ පරාගණය, බීජ ප්‍රචාලනය හරහා.

මේ තියෙන්නෙ වවුලන්ගේ ප්‍රයෝජන වලින් ටිකක්. එතකොට වවුල භයානක නැද්ද? අනේ නෑ. හරිම අහිංසක කට්ටියක්. මෑතක කොරෝනා වලටත් වවුලන්ගෙ නම ගෑවුනා. එහෙම උනත් ඒ අපි වවුලන් කාපු නිසා මිසක් වවුලන් අපිව කාපු නිසා නෙවෙයි. නමුත් වවුලන් හරහා ජලභීතිකාව බෝවීමේ ඉතාම සුළු අවධානමක් තියනව. ඒත් අපි වවුලන්ගෙන් ඈත්වෙලා හිටියොත් ඒ අවධානමත් නෑ. මොකද වවුලන් කවදාවත් මිනිස්සු අස්සට එන්නෙ නෑ. අපි ගියොත් මිසක්.

මේ ලිපිය ලිවුවෙ වවුලන් ගැන කියන්න විතරක් නෙවෙයි. ඊට එහා යමක් කියන්න. ඇමරිකාවේ මනුස්සයෙක් ඉන්නව මර්ලින් ටට්ලේ කියල. එයාට හැමෝම කියන්නෙ සත්‍ය ලෝකයේ බැට්මෑන් කියල. ඒ වවුලන් සංරක්ෂණයට ඔහු දක්වන දායකත්වය නිසා. දශක ගණනාවක් පුරා ඔහු වවුලන් සංරක්‍ෂණයට ලෝකය පුරා යනව. මට මතක හැටියට ලංකාවටත් ඇවිත් තියනව. ඔහු විසින් හඳුන්වල දීපු සංකල්පයක් තමයි වවුල් ගෙවල්. ඒ කියන්නෙ වවුලන්ගේ භාවිතයට මිනිසා විසින් හදපු නිවාස. ඔහු මේ නිවාස හඳුන්වල දෙන්නෙ ගොවිපළවල් වලට. මේ හරහා පලිබෝධ පාලනය වගේම පොහොර නිෂ්පාදනය සිදුකරන්න පුළුවන්. කිසිම වියදමක් නැතුව. කුඹුරු යායක නියරවල් දෙකක් කැපෙන තැනක එක මී ගහක් ගානෙ හිටවල, කුඹුරු යාය වටේ කිහිප තැනක වවුල් නිවාස කිහිපයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම පොහොර සඳහා යන වියදමත් , පලිබෝධ නාශක සඳහා යන වියදමත් ඉතා විශාල වශයෙන් අඩු කරන්න පුළුවන්.

මේ අලුත් දේවල් නෙවෙයි. අපිම විනාශ කරගත්ත අපේම සාම්ප්‍රදායික ක්‍රම. වෙනස සුදු හමක් තියන කෙනෙක් කිව්වොත් විතරක් පිළිගන්න අර “ජානමය සීන් එක” ලාවට තියන එක.

මුලාශ්‍ර: -

https://www.merlintuttle.org/resources/essential-bat-values/

https://www.merlintuttle.org/selecting-a-quality-bat-house/

https://www.merlintuttle.org/2015/10/03/an-organic-farmers-experience-with-bat-houses/

Adeesha

Adeesha

Comments

comments powered by Disqus