ජෝතිෂ්‍යය
මෙම ලිපිය 2015 මාර්තු මස ලියන ලද ලිපියකි
මෑතක සිදුවූ සිද්ධි දාමය නිසා ජෝතිෂ්‍යය බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුවූවක් විය. මේ හේතුවෙන් ජනතාව තුල ජෝතිෂ්‍යය පිලිබඳ තිබෙන ධනාත්මක ආකල්ප අඩුවනු ඇතැයි බොහෝදෙනා විශ්වාස කලද ඒ පිළිබඳව ඇති උනන්දුවේ කිසිදු අඩුවක් දක්නට නොමැත. ශ්‍රී ලාංකික “නිරාගමිකයන්” සහ “හේතුවාදීන්” හට ජෝතිෂ්‍යට පහරගැසීමට මෙය හොඳ අවස්තාවක් උවත් සිදුවූ දේශපාලනික පෙරලිය හේතුවෙන් එම “මහඟු” අවස්තාව ඔවුන්ට යම් තරමකින් මගහැරී ඇතිබව පෙනේ. මෑතක රූපවාහිනියේ විකාශයවූ “ගාරයක” කුප්‍රකට “ජෝතිෂ්‍යඥයකු” යයි කියාගන්න පුද්ගලයෙක් සහ කුප්‍රකට සන්නිවේදකයෙක් (“ගුරුවරයකු”, රචකයකු, නිෂ්පාදකවරයෙකු) අතර ඇතිවූ සංවාදය හේතුවෙන් නැවතත් යම් තරමකට ජෝතිෂ්‍යය කරලියට පැමිණ ඇතිබව පෙනේ. දක්ෂ ජෝතිෂ්‍යවේදියෙකු ලෙස කාලයක් තිස්සේ පෙනීසිටි පුද්ගලයාගේ තරම ඉහත සංවාදයෙන් මනාව පෙනුණු අතර ඒ හා සමානව උක්ත සන්නිවේදකයාගේ තරමද මනාව පෙනුණු බව මාගේ අදහසයි. ග්‍රහලෝක, බුදුදහම, විද්‍යාව සහ “ටෙස්ලා” යොදාගනිමින් “ජෝතිෂ්‍යවේදියා” කොටුකල අකාරය නරඹන්නාට ආශ්වාදයක් ගෙනදෙන්නක් උවත් “පරිණත” සන්නිවේදකයා එම කරුණු යොදාගත් සාවද්‍ය අකාරය එම සන්නිවේදකයාම කොටුකල ආකාරය මට ආශ්වාදය ගෙනදුන්නක් විය. මෙම ලිපිය මගින් ඒ පිළිබඳව සාකච්චා නොකරන අතර ජෝතිෂ්‍ය පිලිබඳ මාගේ අදහස පමණක් ප්‍රකාශ කරනු ලැබේ.
ඉතා ඈත අතීතයේ සිට අද දක්වාම මිනිසාගේ කුතුහලය අවධිකළ කරුණු දෙකක් විය. විශ්වය (අහස) සහ අනාගතය එම කරුණු ද්විත්වය වේ. මෙයින් අහස නිරීක්ෂණය කල හැකි නමුත් කිසිදා ලඟාවිය නොහැක්කක් විය. අනාගතය නිරීක්ෂණය කල නොහැකි, ඉන්ද්‍රියගෝචර නොවන සහ නොපැමිණි දෙයක් විය. දඩයම් යුගයෙ පටන් මිනිසාට හෙට පිලිබඳ අවිනිශ්චිත තාවයක් තිබුණි. ආහාර සහ ආරක්ෂාව අතිශයින් වැදගත් සංරචක වූ එම කාලයේ හෙට දවස යන්න සත්‍ය වශයෙන්ම අභියෝගයක් විය. සැන්දෑවේ දිනකර අවරගිරින් බැසගිය පසු අහස්කුස පුරා දිලෙන තරු දඩයම් මානවයාගේ කුතුහලය නිතැතින්ම සොරාගන්නට ඇත. ජීවන අරගලය ඉතාමත් දරුණු වූ එම යුගයේ තරු ගැන හා හෙට වැනි අනවශ්‍ය දෑ පිළිබඳව සෙවීමට වඩා අද ජීවත්වීම ඉතාමත් වැදගත් විය. නමුත් මිනිසා ගොවි යුගයට පැමිණීමත් සමග ඇතිවූ නිෂ්පාදන අතිරික්තය “අනවශ්‍ය” දේවල් පිළිබඳව වදවීමට ප්‍රමාණවත් කාලය ලබාදීමට සමත් විය. මේ හේතුවෙන් මෙතුවක් කල් අහසේ කරක්ගැසූ තරු “ඇල්ලීමට” හැකියාව ලැබුණි. අතීතයේ සිට මේ දක්වාම පවතින ප්‍රධානම “විද්‍යාවක්” බවට තාරකා විද්‍යාව පත්වූයේ මෙම හේතුව නිසාය. ක්‍රිස්තුපුර්ව යුගයේත් වසර දහස් ගණනක් අතීතයට දිවයන තාරකාවිද්‍යාවේ ඉතිහාසය අද පවා තාරකා විද්‍යාඥයන් මවිත කිරීමට සමත්ය.
ලොව පුරා විවිධ ශිෂ්ටාචාර තාරකා විද්‍යාව දියුණුකළ අතර පෙර අපර දෙදිගම එය ඉතාමත් ප්‍රශස්ත ආකාරයෙන් සිදුවිය. අකාෂ වස්තු සිතියම් ගත කිරීම, සිදුවන වෙනස්කම් වාර්තා කිරීම, චලනයන් නිරීක්ෂණය ආදිය ඉතා නිවැරදිව සිදුවූ අතර වඩා වැදගත් කාරණය වූයේ අකාෂ වස්තූන්ගේ හැසිරීම ගණිතමය ක්‍රමවේදයකට අනුව විග්‍රහ කිරීමට හැකි වීමයි. මෙමගින් අනාගතයේ තරු වල හැසිරීම කල්තියා ප්‍රකාශ කල හැකිවූ අතර දිගින් දිගටම සිදුවූ පරීක්ෂණ මගින් ගණිතමය ක්‍රමවේදයන් තව තවත් නිවැරදි වුනි. භාවිතයේ පහසුව තකා තරු රටා නිර්මාණය කල අතර මෙමගින් තරු සිතියම් ගතකිරීම වඩාත් පහසු වුනි. නිර්මාණශීලී මිනිසුන් තරු රටා අළලා ආකර්ශනීය කතා නිර්මාණය කල අතර ඒවා තරු තරම්ම චමත්කාර ජනක විය. අතීතයේ සිට අද දක්කවා සිදුවූ දියුණුව හේතුවෙන් අදද අනාගතය පිළිබඳව වඩාත්ම සාර්ථකව අනාවැකි පැවසීමට හැකි එකම ක්‍ෂේත්‍රය තාරකා විද්‍යාව බවට පත්ව ඇත.
මෙසේ තාරකා විද්‍යාව දියුණු වනවිට “සියල්ලන්න්ටම” පිළිගත හැකි ක්‍රමවේදයකට අනුව අකාෂ වස්තු පිලිබඳ අනාවැකි කීමේ හැකියාව මිනිසුන්ට ලැබුණි. ප්‍රථම සහ එකම වතාවට සාර්ථක ලෙස ඉන්ද්‍රිය ගෝචර ක්‍රමවේදයකට අනුව දීර්ඝකාලීන අනාවැකි පැවසීමේ හැකියාව සහිත එකම ක්ෂේත්‍රය බවට තාරකා විද්‍යාව පත්වුණි. මෙසේ මානවයාගේ කුතුහලය අවධිකළ එක් කරුනක අභිරහස් අනාවරණය වනවිට අනෙක් කරුණ පිළිබඳව ඇති කුතුහලයද කෙමෙන් වැඩිවන්නට ඇත. ඉතා සංකීර්ණ වූ තාරකා විද්‍යාව ඉතාමත්ම සංකීර්ණවූ මිනිස් දිවිය සමග ගැලපීමට තැත්කිරීමේ එතරම් වරදක් දැකිය නොහැක. කුතුහලය නිසාම දියුණු වූ මිනිසා මානව ඉතිහාසයේ සිදුකල දීර්ඝතම පරීක්‍ෂණය ලෙස ජෝතිෂ්‍යය හැඳින්විය හැක. මාගේ අදහස අනුව ඉතාමත් සංකීර්ණ මෙන්ම පුළුල් පරාසයක පැතිරුණු සිතුපැතුම්, හැසිරීම් රටා සහ බාහිර බලපෑම් මගින් පාලනය වන මිනිස් ජීවිතයේ සිදුවීම් තාරකා විද්‍යාවේ ඇති සංසිද්ධීන් සමග ගැලපීමට ගත් බැරෑරුම් උත්සාහයක් ලෙස ජෝතිෂ්‍ය හැඳින්විය හැක.
බොහෝ දෙනෙකු ජෝතිෂ්‍යය පැහැදිලි කිරීමට ග්‍රහලෝක තාරකා ආදියෙන් නිකුත්වන නොපෙනෙන කිරණ භාවිතා කරයි. නමුත් මාගේ පුද්ගලික විශ්වාසයනම් ග්‍රහලෝක, තාරකා ආදියෙන් නිකුත්වන කිරණ (ආලෝකය, රේඩියෝ, ගැමා, ගුරුත්වය ආදිය) වලට මිනිස් ජීවිතය හෝ පරිසරය කෙරෙහි කළහැකි බලපෑම ඉතාම අවම බවයි. හිරු හැරුණුවිට අපහට ඉතාමත් විශාලම බලපෑම කරනුයේ චන්ද්‍රයාය. අනෙකුත් ග්‍රහ වස්තුන් මගින් සිදුවන බලපෑම් ඉතාමත් අල්ප බව සැලකිය හැක.
ජෝතිෂ්‍යයේ ඇති සියලුම සංසිද්ධි පාහේ යම් ආකාරයක විශේෂිත තාරකාවිද්‍යාත්මක සිදුවීමකි. නැකතක් යනු තාරකා රාශි සහ අකාෂ වස්තු යම් විශේෂිත අකාරයකට පිහිටීමක් ලෙස හැඳින්විය හැක. මේ සියල්ල පෘතුවියට සාපේක්ෂව සලකනු ලබයි. එනම් වෙනත් ග්‍රහලොවක උපන් පුද්ගලයෙක් සඳහා ජෝතිෂ්‍ය භාවිතා කරයි නම් එම ග්‍රහලොවට සාපේක්ෂව නැවතත් ජෝතිෂ්‍ය නිර්මාණය කලයුතු අතර ග්‍රහයන්ගේ හැසිරීම සහ ජීවිත සිදුවීම් අතර නිවැරදි සම්බන්ධතාවයක් ගොඩනැගීමට නැවතත් පරීක්‍ෂණයක් සිදුකල යුතුය. ඒ හැර පෘතුවිය මතට සැකසු ජෝතිෂ්‍ය නියමයන් වෙනත් ග්‍රහලොවක් මත යෙදීම එතරම් සාර්ථක නොවේ.
Comments